කූඹියෝ ගැන මට හිතෙන දේ…

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට සිංහල රසාස්වාදය තෝරාගත් විෂයක් ලෙස හැදෑරුවත් මීට පෙර ලකුණු බලාපොරොත්තුවෙන් තොරව ලිවීමක් කරලම නෑ.අවුරුදු 3කට පසු ලකුණු බලාපොරොත්තුවෙන් තොරව කරන පලමු ලිවිම නිසාවෙන්ම භාෂාව ඉතාමත් සරලව , ප්‍රවේශමෙන් හැසිරවීමට වග බලාගන්නම්.

 

කූඹියෝ ; මොකක්ද මේ කූඹියෝ කියන්නේ? වර්තමානයේ ලාංකීය රුපවාහිනියේ විකාශය වන නිර්මාණ දැඩි ලෙස හෙලා දැකපු මාගේ මිත්‍රයන් සිංහල නමක් තියෙන නිර්මාණයක් ගැන කතා කරනකොට මගේ හිතට ආපු ප්‍රශ්නය ඒකයි.මේ ලිපිය කියවන විටත් ඔබ කූඹියෝ නිර්මාණය රස විඳීමට පටන් ගෙන නැතිනම් වහාම කියවීම නවතා නිර්මාණය රසවිඳ පැමිනෙන ලෙස ඉල්ලා සිටිනවා.

 

මං කූඹියෝ ගැන දැන ගන්නකොට නිර්මාණයේ කොටස් 10ක් පමණ විකාශය වෙලා ඉවරයි.නිර්මාණය රසවිඳින්න අත ගහන්න කලින් මං කලේ මුලින්ම තේමා ගීතයට සවන් දීපු එක.සාමාන්‍ය ව්‍යවහාරේ “පොතක කවරයෙන් පොත මනින්න එපා” කිව්වට මෙතනදි මම වෙනසක් දකිනවා.

පායනා කාලෙදී//රෑ දවල් මහන්සි වී//කන්න දේ රැස් කරයි කූඹියෝ

මේ පද පේලිය මට මුලින්ම අහන්න ලැබෙන්නෙ මා පොඩි කාලයේ රස විඳපු “කූඹිච්චී” කාටූනයේ තේමා ගීතයෙන්.සමාජයේ සමස්තයක් ලෙස බැලුවම ඉතාමත් ශක්ති හීන කොට්ඨාශයක් වුවත් තමන්ගේ අරමුණ කරා එකමුතුව,තමන්ගෙ එකා ඇදගෙන යන කූඹියාගේ ගුණාංගය මෙතනදි ඉස්මතු කරල තියෙනවා කියල මට හිතෙනවා.කූඹියෝ තේමා ගීතයේ නිර්මාණකරු වන “අචල සොලමන්ස්” ගේ ගීපද රචනා රස විඳ තිබුණත් මාගේ මතකය දිව යන විදිහට මා රස විඳි ඔහුගේ පලමු සංගීත නිර්මාණය මෙයයි.ඔහු විසින් ප්‍රේක්ශකයාට හුරුපුරුදු වචන පෙල හදවතේ රිද්මයට සමීපව හිතට දැනෙන අයුරින් ප්‍රති නිර්මාණය කර ඇති හැටි අපූර්වයි.ගීතයේ එක් තැනක “එක් සංඛ්‍යාතයක් උස් කර දැක්වීම” මගින් හද කීරි ගැහෙන අයුරින් කූඹියෝ හා සමාජය අතර ඇති බෙදීම හෝ කතාංගයේ ඉදිරියේදී ඇතිවන යම් කිසි බිඳවැටීමක් සංකේතවත් කිරීමට ඔහු උත්සාහ දරා ඇති බව මා විශ්වාස කරනවා.

 

කතාංගය දෙසට හැරෙන විට මාගේ අවධානය දිනාගැනීමට සමත් වන පලමු ජවනිකාව වන්නේ අපේ කතානායකයා වන ජෙහාන් විසින් බංගලාදේශ ජාතිකයෙකු ලෙස පෙනී සිටිමින් තරුණියකගෙන් මහජන පුස්තකාලයට පාර විමසන අවස්තාවයි.තරුණිය පුස්තකාලයට පෙර නැවතුමෙන් බහින බැවින් බස් රථයේ ඉදිරියෙන් සිටින තරුණයෙකුට බංගලාදේශ ජාතිකයාට මග පෙන්වීම භාර දෙයි.ඒ භාර දෙන්නේ අපේ දෙවන කතානායකයා වන ප්‍රියන්ත ටය.මෙහිදී මා දෙවන කතානායකයා ලෙස සඳහන් කරේ ඉදිරි කොටස් වලට යාමේදී කතාවස්තුවට ප්‍රියන්ත හා ජෙහාන් දෙදෙනාගේම චරිත කරට කර බලපෑමක් කරන බැවිනි.ජනේලයෙන් ඉවත බලා සිටින ප්‍රියන්ත මහජන පුස්තකාලයට ලං වන විට බංගලාදේශ ජාතිකයා දෙසට හැරී කැඩුණු ඉංග්‍රීසියෙන් ගැට ගසාගෙන

“සර්…යූ.හෝල්ට්…හෝල්ට්”

ලෙස බසයෙන් බැසිය යුතු බව පෙන්වයි.මේවා මහ පොලවේ සිදුවන සිදුවීම්ය.බස් රථයේ ගමන් ගන්නා මම මෙවැනි දෙබස් සිය දහස් වාරයක් අසා ඇත්තෙමි.ප්‍රියන්තගේ මග පෙන්වීමට පිලිතුරු ලෙස ජෙහාන් පවසන්නේ

“හරි හරි බං…මම දන්නවා…මම මෙහේ එකෙක්”

ලෙසයි.මෙහේ එකෙක් – අපේ එකෙක් – මහ පොලවේ කූඹියෙක් – යන හැඟීම ඉන් මගේ හිතට දැඩිවම කිඳා බැස්සවීය.ඒ සමීප වීම මා නවත්වන්නේ විකාශය වී ඇති කොටස් 10ම එක හුස්මට නරඹා අවසන් කරමිනි.කතාවේ දර්ශන තල කොළඹ කොටුවේ , මරදානේ ගිනි අව්වේ හා මධ්‍යම රාත්‍රියේ කරක්ගසා ඇති මා හට ඉතාමත් සමීප අත්දැකීම්ය.එසේ නම් මේ අපේ ජීවිත වල යටි පෙල කතාවයි.මේ ගෙන්දගම් පොලවේ කොතැනක හෝ සිදුවිය හැකි අතිශයින්ම තාත්වික මෙම කතාංගය ඉතාමත් සරල නමුත් අරුත්බර දෙබස් හා සිදුවීම් වලින් සමන්විතයි.

 

කුඹියෝ හරහා මුලින්ම දැන හඳුනගන්නා ජෙහාන් ගේ චරිතයට පණ පොවන තුමිඳු ගේ හා ප්‍රියන්තගේ චරිතයට පණ පොවන කලණ ගේ රසිකයෙකු බවට මා ක්ෂ්ණයකින් පත් වන්නෙ නිතැතිනි.තුමිඳු දොඩන්තැන්නගේ පෞර්ෂ්‍යයට වහ වැටෙන මම ඔහු ගැන සොයමින් අන්තර්ජාලය පීරද්දී තුමිඳු සහභාගී වූ සිත් ‍රේඩියෝ නාලිකාවේ විකාශය වූ ගැමුණු වන්නිනායක මෙහෙයවන මතක පද වැඩසටහනට සවන් දීමට අවස්තාව ලැබුවෙමි.එයින් තුමිඳුගේ ජීවිත කියවීම හා චින්තනය ගැන දැන හඳුනා ගැනීමට හැකිවිය.එය මට විශාල ජීවිත අත්දැකීමක් වූවා නිසැකය.තුමිදු ගේ “අරුන්දතී” නාට්‍යය ද යලි වේදිකා ගත වන්නේ නම් රටේ කොයි ඉසව්වෙ තිබුනත් නැරඹීමට යාමට බලාපොරොත්තු වෙමි.

 

එසේ නම් අවසාන වශයෙන් වටිනා නිර්මාණයක් රටට දායද කිරීම පිලිබඳව කූඹියෝ කන්ඩායමට ස්තූති කරමින් ද  මාගේ ලිවීමේ කිසියම් අඩුපාඩුවක් ඇත්නම් එයට සමාව අයදිමින් ද  අදට සමුගනිමි.